ආතතිය යනු
පුද්ගලයකුගේ ජීවිතයේ ඇතිවන මානසික, ශාරීරික හෝ සංවේගාත්මක පීඩනයට ප්‍රතිචාර ලෙස ශරීරය සහ මනස දක්වන ස්වභාවික ප්‍රතික්‍රියාවකි.වර්තමානය වන විට යෞවන යෞවනියන් අධික ලෙස ආතතියට පත්වීම ගැටලුකාරී වාතාවරණයක් බවට පත්ව තිබේ.
තරුණ තරුණියන්ට ආතතිය ඇතිවෙන්නේ ඇයි?
වර්තමාන සමාජයේ යෞවන යෞවනියන් අතර “ආතතිය” කියන වචනය බොහෝවිට අහන්න දකින්න ලැබෙන දෙයක් බවට පත් වෙලා තියෙනවා. අධ්‍යාපනය, රැකියාව, සමාජ ජීවිතය, අනාගත බලාපොරොත්තු යනාදිය එකට එකතුවෙද්දි යෞවන අවධිය මානසිකව බර වුණු කාලයක් බවට පත්වෙලා තියෙනවා.
1. අධ්‍යාපන හා රැකියා පීඩනය
යෞවන අවධියේ විශාලම පීඩනකාරී වාතාවරණයක් ඇති වනුයේ අධ්‍යාපනය සහ රැකියා සම්බන්ධයෙන් වෙයි. විභාග ප්‍රතිඵල, assignment, competition, “හොඳ job එකක් ලැබේවිද?” කියන සැකය තරුණ මනසට අඛණ්ඩ පීඩනයක් ගෙනදෙයි. සමාජයෙහි “සාර්ථක විය යුතුයි” කියන අදහස මේ පීඩනකාරී ස්වභාවය තවත් වැඩි කරනවා.
2. පවුලේ බලාපොරොත්තු හා සමාජ බලපෑම්
පවුලේ අයගේ බලාපොරොත්තු සමහර විට තරුණ තරුණියන්ට දරාගන්න අමාරු වෙයි. හොඳ අධ්‍යාපනයක්, හොඳ රැකියාවක්, ඉක්මනින් සාර්ථක ජීවිතයක් යන මේ සියල්ල එකට එකතු වෙද්දි ආතතිය ස්වභාවිකවම වැඩිවෙනවා. එයට අමතරව සමාජයේ අදහස්, විවේචන සහ සැසඳීම් ද තරුණයන්ගේ සිත් පීඩා කරයි.
3. අනාගතය ගැන ඇති අවිනිශ්චිතතාවය
“මගේ අනාගතය කොහොම වෙයිද?” කියන ප්‍රශ්නය බොහෝ තරුණයන්ගේ මනස තුළ නිතරම පවතින සිතුවිල්ලක් වෙයි. තමන් විසින් තෝරාගන්නා ලද මාර්ගය හරිද, සාර්ථක වෙන්න පුළුවන්ද කියන සැකය දිගු කාලයක් පවතින විට මානසික ආතතිය ගොඩනැගේ.
4. සමාජ මාධ්‍ය සහ සැසඳීම්
අද කාලයේ සමාජ මාධ්‍ය තරුණ ජීවිතයේ විශාල භූමිකාවක් ආවරණය කරයි. අනෙකාගේ සාර්ථක ජීවිත, සංචාර, ජයග්‍රහණ දැක තමන්ගේ ජීවිතය සැසඳීමෙන් “මම ප්‍රමාණවත්ද?” කියන හැඟීම ඇතිවෙයි. මේ සැසඳීම් ආතතිය වැඩි කරන ප්‍රබල හේතුවක් බවට පත්වෙලා තියෙනවා.
5. මානසික සහ ශාරීරික හේතු
ප්‍රමාණවත් නින්දක් නොලැබීම, විවේකය නොලැබීම, අධික රාජකාරී ස්වභාවය සහ තමන්ගේ හැඟීම් කෙනෙකුට කියාගත නොහැකි වීමද ආතතියට හේතු වේ. බොහෝ තරුණ තරුණියන්ට තමන්ගේ ගැටලු පිළිබඳ නිසි ලෙස කතා කිරීමට අදහස් ප්‍රකාශ කිරීමට විශ්වසනීය පුද්ගලයෙකු නොමැති වීම ඔවුන් තවත් ආතතියට ලක් කරයි.
ආතතිය නැති කරගත හැකි ප්‍රායෝගික ක්‍රම
අද කාලයේ ආතතිය තරුණ තරුණියන්ගේ ජීවිතයේ සාමාන්‍ය තත්ත්වයක් බවට පත් වුවද එය පාලනය කරගැනීමට පියවර ගතහොත් ජීවිතය තවත් සරලව සහ සතුටින් ගත කළ හැක. ආතතිය සම්පූර්ණයෙන්ම නැති කළ නොහැකි උවද පහත ක්‍රම මඟින් එය බොහෝ දුරට පාලනය කරගත හැක.
1. කෙනෙකු සමඟ විවෘතව කතා කිරීම
ආතතිය මනස තුළම තබාගැනීමෙන් එය තවත් වැඩිවේ. විශ්වාස කරන මිතුරෙකු, පවුලේ අයෙකු හෝ උපදේශකයෙකු සමඟ තමන්ගේ හැඟීම් කතා කිරීමෙන් මනසට විශාල සැනසිල්ලක් ලැබේ.
2. ප්‍රමාණවත් නින්ද
ප්‍රමාණවත් නින්දක් නොලැබීම ආතතිය වැඩි කරන ප්‍රධාන හේතුවක්. දිනකට අවම වශයෙන් පැය 7–8ක් නිදාගැනීමට උත්සාහ කිරීම මනස සන්සුන් කරගැනීමට උපකාරී වේ.
3. ව්‍යායාම සහ ශාරීරික ක්‍රියාකාරකම්
දිනපතා සුළු ව්‍යායාම, ඇවිදීම, දිවීම හෝ යෝගා වැනි ක්‍රියාකාරකම් මඟින් ශරීරය පමණක් නොව මනසත් සුවපත් වේ. ව්‍යායාම කිරීමෙන් ආතතිය අඩු කරන හෝමෝන ශරීරයෙන් නිදහස් වේ.
4. කාලය හොඳින් සැලසුම් කිරීම
වැඩ ගොඩ ගැසීම ආතතිය වැඩි කරයි. දිනපතා වැඩ ලැයිස්තුවක් සකස් කරගෙන ප්‍රමුඛතා අනුව වැඩ කිරීමෙන් මානසික පීඩනය අඩු කරගත හැක.
5. සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීම
සමාජ මාධ්‍ය හරහා අනෙකාගේ ජීවිත තමන්ගේ ජීවිතය සමඟ සැසඳීම ආතතිය වැඩි කරයි. ඒ නිසා සමාජ මාධ්‍ය භාවිතය සීමා කර තමාගේ ජීවිතයට අවධානය යොමු කිරීම වැදගත්ය.
6. කැමති දේවල් සඳහා කාලයක් වෙන් කිරීම
සංගීතයට සවන් දීම, පොත් කියවීම, චිත්‍ර ඇඳීම හෝ කැමති විනෝදාංශයක නියැලීම මනසට විවේකයක් ලබාදේ. මේවා ආතතිය අඩු කිරීමට ඉතා ප්‍රයෝජනවත් වේ.
7. ධනාත්මක සිතුවිලි වර්ධනය කිරීම
නිතරම අසාර්ථකත්වය ගැන සිතීම වෙනුවට තමන්ට හැකි දේවල් සහ ලැබූ ජයග්‍රහණ ගැන සිතීම ආතතිය අඩු කරයි. ධනාත්මක සිතුවිලි මනස ශක්තිමත් කරයි.
8. අවශ්‍ය නම් වෘත්තීය උපකාර ලබාගැනීම
ආතතිය දීර්ඝ කාලයක් පවතීනම් මානසික උපදේශකයෙකු හෝ වෛද්‍යවරයෙකුගේ උපකාර ලබාගැනීම කිසිසේත්ම ලැජ්ජාවක් අපහසුතාවයක් නොවේ. එය තමන්ට කරන හොඳම උදව්වක් වේ.
ආතතිය සමඟ ජීවත් වීම වෙනුවට එය පාලනය කරගමු
ආතතිය ජීවිතයේ කොටසක් වුවද එය සම්පූර්ණයෙන්ම අපගේ ජීවිතය පාලනය කිරීමට ඉඩ දිය යුතු නොවේ. විශ්වාසවන්ත පුද්ගලයකු සමඟ කතා කිරීම, නිසි විවේකය ලබාගැනීම, ව්‍යායාම, සහ අවශ්‍ය නම් මානසික උපදේශකයෙකුගේ සහය ලබාගැනීමෙන් ආතතිය පාලනය කරගත හැක. අවසානයේ, තරුණ වයස කියන්නේ ජීවිතය ඉගෙන ගන්නා, වැරදි කරන, නැවත වැරදි නිවැරදි කරන අවධියක් වෙයි. ඒ නිසා ආතතියට බියවන්නෙ නැතුව එය හඳුනාගෙන එයට නොබියව මුහුණ දීමට කටයුතු කරන එකම සාර්ථක ජීවිතයකට පියවරක් වෙනවා.



